ප්‍රවීන වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ප්‍රවීන කලාකරු ලූශන් බුලත්සිංහලයන්ගේ බිරිද වන ඇය මිය යනවිට 73 වන වියේ පසු වුනා. ඇයට හර්ශ බුලත්සිංහල හා ඉන්ද්‍රචාපා බුලත්සිංහල යන දරුවන් දෙදෙනෙකුද සිටියා. රෝගී තත්වයක් නිසා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකර ලබමින් සිටි එතුමිය අද ( 16) දහවල් මෙලොව හැරගොස් තිබුණා.

1947 සැප්තැම්බර් 21 වනදා උපන් ඇයගේ මුල් නමය අනුලා මෙන්ඩිස්‍ ය. ඇගේ පියා ටීටර් නලුවෙකුවූ අතර ඒ සහයෝගයෙන් ඇය නාට්‍යකරණයට පිවිසියේය. ගුවන්විදුලියේ රාවණ නාඩගමේ සීතා දේවියට හඩ රංගනය කල ඇය. හෙන්‍රි ජයසේනගේ කුවේනි වේදිකා නාට්‍යයේද රංගනයෙන් එක්විය. ඊට අමතරව රතු හැට්ටකාරී, තාරාවෝඉගිලෙති, මධුර ජවනිකා, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍ය වලද නිල්දිය දහන, ගෝල්, අසන්ධිමිත්තා වැනි චිත්‍රපට තුලද සිය රංගන හැකියාව විදහා දැක්වීමට සමත් විය.

අනුලා බුලත්සිංහල මහත්මිය පසුගිය 11 වනදා රාජ්‍ය නාට්‍ය උලෙලේ ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඇය මෙරට කලාවට කල මෙහෙය අතිමහත්ය.

කලා වේදිනී අනුලා බුලත්සිංහල මහත්මියට Thepopcorns අපි නිවන්සුව පතන්නෙමු.

දයාන් විතාරණ මහතා තැබූ සටහන

රඟහල අඩ අඳුරේම තබා රතු හැට්ටකාරියත් දිවි රඟ මඬලින් නික්ම යයි ………… ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක මෙන්ම ගායිකාවක ලෙසින් ප්‍රකට අනුලා බුලත්සිංහල අද දින අභාවප්‍රාප්ත වූවාය. වර්ෂ 1947 වසරේ සැප්තැම්බර් 21 වනදා උපන් ඇය කරුක්කුව සුගතානන්ද මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර ඇගේ මුල් නම අනුලා මෙන්ඩිස් ය. මුලින්ම ස. තො. ස. හරහා රාජ්‍ය සේවයට එක්වන ඇය රාජකාරී ස්ථානයේ මුණගැසෙන ආර්. ආර්. සමරකෝන්, චන්ද්‍රා කළුආරච්චි වැනි පිරිසක් සමග නාට්‍යකරණයට අවතීර්ණ වන්නීය. ඉන්පසුව එම නිර්මාණ එකමුතුවේ නාට්‍ය නිර්මාණවලට දායක වෙමින් සිය රංගන ජීවිතය සකසාගන්නා ඇයට මුලින් සිය මව විරෝධය පෑවද, ටීටර් නළුවෙකු වූ පියාගෙන් උපරිම සහයෝගයක් හිමි විය. ගුවන්විදුලියේ “රාවණ” නාඩගමේ සීතා දේවී සඳහා හඬ රංගනය කළ ඇය, හෙන්රි ජයසේනයන්ගේ “කුවේණි” වේදිකා නාට්‍යයේ මානෙල් ජයසේන වෙනුවෙන් කුවේණිය රැඟීම සඳහා තෝරා ගත්තාය. ඉන්පසු “නෙයිනගේ සූදුව”, “තාරාවෝ ඉගිලෙති” වැනි වේදිකා නාට්‍ය රැසක රංගනය කළ ඇය “රතු හැට්ටකාරී” වේදිකා නාට්‍යයේ රතු හැට්ටකාරිය ලෙසින් “දීකිරි දීකිරි………..” ගීය ගැයූ අයුරු බොහෝ දෙනාට අදටත් හොඳින් මතක ය. එමෙන්ම කලාවේදී විජේරත්න වරකාගොඩ සමගින් “රඟහල දැන් ඇත අඬ අඳුරේ………” ගීතය ගයමින් ජනාදරයට පත් ඇය, ගුණදාස කපුගේ සමග ගයන “පන්සල පාමුල……….” නම් ගීතය ද ජනාදරයට පත් වීය. “සිටු දියණියෝ” චිත්‍රපටයේ රංගනය කරමින් සිනමාවේ ද දක්නට ලැබුණු ඇය “නිල් දිය යහන” චිත්‍රපටය හරහා මෑතභාගයේ සිනමාවේ කලකට පසු දක්නට ලැබුණි. “මහින්දාගමනය” චිත්‍රපටයේ මාලාකාරිණියක ලෙස ද, “ගෝල්” චිත්‍රපටයේ එළවලු කොටුවේ මිත්තණිය ලෙස සහ “අසන්ධිමිත්තා” චිත්‍රපටයේ ඔත්පල මැහැල්ලක ලෙසින් ද කළ චරිත සිනමාව තුළ මනරම් මතක ලෙස තැන්පත් වී හමාරය. ප්‍රකට ගේය පද රචකයෙකු මෙන්ම නාට්‍යවේදියෙකු වන රංගනවේදී ලූෂන් බුලත්සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වන ඇය ප්‍රවීණ ගායකයෙක් සහ ටෙලිනාට්‍ය නළුවෙක් වන හර්ෂ බුලත්සිංහල සහ ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රචාපා බුලත්සිංහලගේ මෑණියන් ය. ආදරණීය අනුලා අක්කා ඉකුත් 11 වැනිදා රාජ්‍ය නාට්‍ය උළලේ ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ගෞරව සම්මානයෙන් පිදුම් ලද අතර ඇගේ හදිසි වියෝව හේතුවෙන් ලූෂන් අයියා, හර්ෂ සහ ඉන්ද්‍රචාපා ඇතුළු පවුලේ සැමට මගේ සාතිශය සංවේගය දැනුම්දෙමි. ආදරණීය අනුලා අක්කාට නිවන් සුව වැඩි ඈතක නොවේවායි පිංපෙත් පමුණුවමි !!!

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *