ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රේක්ෂකයාට නැවුම් අද්දැකීමක් ලබාදෙන නවතම චිත්‍රපටයක් ලගදීම එන බවට තොරතුරු වාර්ථාවෙනවා. ඒ අයිස්ක්‍රීම් චිත්‍රපටයයි. අයිස්ක්‍රීම් චිත්‍රපටයේ ගීත කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත්වීමත් සමග චිත්‍රපටය නැරබීමට ඇති ප්‍රේක්ෂක උනන්දුව වැඩිවී තිබෙනවා. නමුත් කොවිඩ් අර්බුධය නිසා මේවන විට රට පුරා සිනමාහල් වසාදමා තිබෙනවා. නමුත් නැවත සිනමාහල් විවෘත කරන අවස්ථාව වන විට මෙම චිත්‍රපටය බොහෝ විට ප්‍රේක්ෂකයාට නැරබීමට හැකි වනු ඇත.

මෙම චිත්‍රපටයේ මෙරට ජනප්‍රිය සිනමාතරු රැසක් රංගනයෙන් එකතුවෙයි. ඒ අතර සිංහල සිනමාවේ වර්ථමාන තරුව ලෙස හැදින්වෙන හේමාල් රණසිංහ, අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්න, පැණි මකුලුවෝ චිත්‍රපටය හරහා සිනමාවට ආ අයිශාරා අතුකෝරල, ප්‍රවීන රංගන ශිල්පීන් වන  බිමල් ජයකොඩි හා රුක්මල් නිරෝශ්ද ප්‍රධාන චරිත ලෙසින් එකතුවනවා. ඊට අමතරව දමිතා අබේරත්න, ඩී බී ගන්ගොඩතැන්න, වීනා ජයකොඩි, සරත් කොතලාවල, මදුශාන් නානායක්කාර,චමිලා පීරිස්, රොශාන් රණවන, දයා තෙන්නකෝන් මෙන්ම චින්තක වාස්ද මෙහි රංගනයෙන් එකතුවනවා.

මෙම චිත්‍රපටය නිශ්පාදනය කරන්නේ දුමින්ද පියරත්න හා කෝකිල විතානගේ විසිනුයි. කැමරාකරණය චින්තක සෝමකීර්ති, සංස්කරණය රුක්මාල් නිරෝශ්,වේශ නිරූපනය නාරද තොටගමුවවිසිනි.

පසුගිය දින කිහිපයේ නිකුත්වූ මෙහි ගීත දිත්වයෙන්ම විශාල ප්‍රේක්ෂක ආකර්ශණයක් චිත්‍රපටය වෙත නතුකරගන්නට හැකිවුනා. මෙහි සංගීත නිර්මාණය සිදුකරන්නේ කසුන් කල්හාර විසිනි. වංසක්කාරී හා වරෙල්ලා ගට අරගෙන පටපට ගාලා ගීත දිත්වයම ගායනා කරන්නේ කසුන් කල්හාර විසින්ම වන අතර ඒවාගේ පද මංජුල වෙඩිවර්ධන විසිනි.

මෙම චිත්‍රපටයේ තිර රචනය ලියන්නේ නූතන පරපුරේ ජනප්‍රිය නලුවෙකු වන කූබියෝ ටෙලි මාලාවේ ප්‍රියන්ත මහඋල්පතගමගේ චරිතය රග දක්වමින් විශාල ප්‍රේක්ශකාගාරයක ආකර්ශණයක් දිනාගත් කලන ගුණසේකර විසිනි. මෙම චිත්‍රපටය අධ්‍යක්ශණය කරනු ලබන්නේ ප්‍රදීප් ධර්මදාස විසින් වන අතර ඔහු සිකා ටීම්, ත්‍රයිලෝකා, රෝසමල් සයනය වැනි නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කර තිබුණා.

මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයා වෙත නැවුම් සිනමා අද්දැකීමක් ලබාදෙනු ඇතැයි සිතන්නට පුළුවන්. එහි පූර්ව ප්‍රචාරක පටයේ දකින්නට ලැබෙන විදේශීය නලුවන්ගේ චරිත අනුකරණයද ප්‍රේක්ෂකයා අතර කතාබහක් නිර්මාණය කරන්නට සමත්වී තිබේ. කොවිඩ් වසංගතය අවසන් වූ වහාම මෙම චිත්‍රපටය නැරබීමට ප්‍රේක්ෂකයා යුහුසුලුව බලා සිටිනු නොඅනුමානය.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *